SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
පින් කළ පමණින් නිවන් දකිනු බෑ 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

ප්‍රකාශනය: 2015-07-08


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.

දෙදහස් තුන වසරේ දෙසැම්බර් මස දොළොස්වන දින රුසියාවේ දී අබිරහස් පසුබිමක් තුළ අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් මෑත භාගය තුළ ශ්‍රී ලාංකීය ජන සමාජයේ අතිශය ගෞරවාදයට පාත්‍ර වූ හිමිනමකි. එලෙස ප්‍රසාදයට පත්වීමට උන්වහන්සේ ඉදිරිපත් කරන ලද ධර්ම කරුණුවල කාලීන සහ ප්‍රායෝගික වැදගත්කමද බෙහෙවින් ඉවහල් වූ බව පැහැදිලිය. එලෙස උන්වහන්සේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සමාජගත කරනු ලැබූ ධර්ම කරුණු පුවත්පත් මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ මාධ්‍යවේදිනිය රැජිණ නියෝජ්‍ය කර්තෘ ඉන්දු පෙරේරාය. එවක රැජිණ සහ ලක්බිම ඉරිදා සංග්‍රහය වෙනුවෙන් පූජ්‍ය සෝම හිමියන් සමග සාකච්ඡා බොහොමයක් පවත්වා ඇති අප මාධ්‍යවේදිනියට පූජ්‍ය සෝම හිමියන් වැඩ වෙසෙන කාලයේදීම උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ මුල් අවදිය අළලා ‘සෝම හාමුදුරුවෝ’ නම් චරිතාප්‍රදානයක් සම්පාදනය කිරීමටද හැකි විය. පූජ්‍ය සෝම හිමියන් වැඩ වෙසෙන කාලයේ කෘතියක් වශයෙන් ප්‍රකාශයට පත්වූ උන්වහන්සේ පිළිබඳ එකම චරිතාපදානය එයයි. මේ මින් කලකට ඉහත අප මාධ්‍යවේදිනිය පූජ්‍ය සෝම හිමියන් සමග කරන ලද සාකච්ඡා කිහිපයක් ඇසුරින් සැකසෙන ලිපි කිහිපයක පළමුවැන්නය.

ස්වාමීන් වහන්ස; පින් රැස් කිරීම සහ කුසල් රැස්කිරීම එකම දෙයක් නොවන බවත් එකි’නෙකට සපුරාම වෙනස් දෙයක් බවත් ඔබවහන්සේ ධර්ම දේශනාවලදී ප්‍රකාශ කොට තිබෙනවා. කොහොමද එහෙම වෙන්නේ?


“පස් පව් 1 — අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.” වීඩියෝව නරඹන්න වීඩියෝවට ක්‍ලික්‍ කරන්න. සම්පුර්ණ වීඩියෝව මෙතන නරඹන්න >
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි පින් සහ කුසල් කියන්නේ එකක් නොවෙයි. පින් කිරීමෙනුත් සැප ලැබෙනවා. කුසල් කිරීමෙනුත් සැප ලැබෙනවා. නමුත් පින් කියන්නේ තණ්හාව වැඩෙන මගක්. කුසලය තමයි තණ්හාව දුරුවෙන මග. නමුත් මෙම කරුණ පිළිබඳව අද බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඒ පිළිබඳ තව ටිකක් විස්තර කළොත් ස්වාමීන් වහන්ස?

‘පුඤ්ඤච්චති සුබස්සේතං අධි වචනං’ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි ‘පින’ යනු සැපයට නමක්. ඇස් කන් නාසාදි ඉඳුරන් පිනවීමට හේතු වන්නේ පුඤ්ඤ හෙවත් පිනයි. එනිසා පුඤ්ඤච්චති වශයෙන් බුදුරජාණන් වහන්සේ දස පුන්‍ය ක්‍රියා දක්වලා තිබෙනවා. දස කුසල් ‘පාණාති පාතා වේරමණි’ ආදී වශයෙන් දහයක් වශයෙන් දේශනා කර තිබෙනවා.

ඒ කියන්නේ පින් කිරීමෙන් සහ කුසල් කිරීමෙන් ලද හැකි විපාකත් එකක් නොවෙයි?

පින් කිරීම තුළින් සැප විපාක ලබන්න පුළුවන්. නමුත් එය සංසාරික දුක නැති කිරීමට මගක් ‍නෙවෙයි ඒ නිසා පින් කළ තැනැත්තා මෙලොවත් පරලොවත් සැප ලබනවා කියලා දේශනා කළා මිස නිවන් දකිනවා කියලා බුදුන්වහන්සේ සඳහන් කළේ නෑ. නිවන් දකින්නට පින්මදි ආදී වශයෙන් කීවාට කුසල් වැඩීමෙන් මිසක් පින් කිරීමෙන් කාටවත් නිවන් දකින්න බැහැ එය විශේෂයෙන් සඳහන් කළ යුත්තක්. නමුත් යම් කිසි පුද්ගලයෙක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පිහිටියා නම් ඒ තැනැත්තා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් වූ තණ්හාව අඩු කරන මගට එළැඹ සිටින කෙනෙකු නිසා එම කුසල කර්ම සැප විපාක දීමට හේතු වෙනවා. ඒ විතරක් නොවෙයි කම්ම නිරෝධය ආදී වශයෙන් දැක්වූ සංසාර දුකින් මිදීමටද එය ඉවහල් වෙනවා.

ස්වාමීන් වහන්ස පින සහ කුසලය වෙන්ව හඳුනා ගන්නේ කොහොමද?


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කුසලය අලෝබ, අදෝස, අමෝහ ච්ෙතනා සහිතයි. ලෝබ, දෝස, මෝහ කියන්නේ අකුසල්. අකුසල කර්ම දුක් විපාක සහිතයි. දුක් විපාක කියන්නේ සංසාරික දුක්ඛයයි. ලෝබ — දෝස — මෝහ කියන්නෙත්, අලෝබ — අදෝස — අමෝහත් තෘෂ්ණා සහගතයි. නමුත් අලෝබ — අදෝස — අමෝහ තෘෂ්ණාව හේතුවෙන් සිදු කළත් එය තෘෂ්ණාව අඩු වන්නට හේතු වෙනවා. එනිසයි ‘තණ්හං නිසාය තණ්හං පහා තබ්බං’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ තණ්හාව නිසා ඇතිවන ලෝබය හේතු කොටගෙන තමා සතු දේ අත හරින්නට අකමැතියි. නමුත් තණ්හාව නිසා ඇතිවන අලෝබය හේතු කොටගෙන තමා සතුදේ අත හරින්නට කැමතියි. යම් පුද්ගලයෙක් සසර දුකින් මිදීම අමතක කොට භව බෝග සම්පත් ලැබිම උදෙසා දානාදී පින්කම් කරයිද, ඒ දානාදී පින්කම් පුණ්‍ය ක්‍රියා වශයෙන් සැලකෙනවා. නමුත් යම් කෙනෙක් භව සම්පත් තෘෂ්ණාවකින් තොරව තණ්හාව දුරු කිරීමේ පරමාර්ථයෙන් දානාදිය පිළිගන්වන්නේද ඒ දානය කුසල ක්‍රියා ලෙසින් සැලකෙනවා.

නමුත් ස්වාමීන් වහන්ස ත්‍රිවිධ පුන්‍ය ක්‍රියාවලට මුලටම එන දානයන් මහත් ආනිසංස ගෙන දෙන පින්කමක් නේද?

දානයෙහි අනුසස් ලෙස භව බෝග සම්පත් ලැබෙනවා. නමුත් අප දන් දෙන්නේ සීලයක පිහිටා නොවෙයි නම් එම දානයෙහි සැප විපාක ලැබුණත් එය ලැබෙන්නේ තිරිසන් ආදී (ඇත්, අස්, බලු, බළල් වැනි) ආත්මවලදීයි. සීලයෙහි පිහිටා දානාදිය දීම තුළින් මිනිස් ආදී සුගති සම්පත් ලබමින් භව බෝගයන්ද ලබනවා. දැන් තේරුණා නේද? ඒ වගේම කුසල් අකුසල් හැඳිනගෙන අකුසල් දුරු කොට කුසල් වැඩීම කෙරෙහි විමසුම් සිතින් දානාදී සිල් රැකීමේ හේතුවෙන් ප්‍රඥා සම්පත්තිය ලබන බවටද බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඒ කියන්නේ පින් කිරීමට වඩා කුසල් වැඩීම දුෂ්කරයි?


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
කුසල් ප්‍රතිපදාව කියන්නේ අමුතු දෙයක් නොවෙයි. ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාවමයි. තණ්හාව දුරු කිරීමේ මාර්ගයත් එයමයි. සම්මා දිට්ඨි යන්නෙහි මූලික විග්‍රහය නම් කුසලය අකුසලය අවබෝධ කර ගැනීමත් කුසලයට හා අකුසලයට හේතු තේරුම ගැනීම යන්නයි.

ස්වාමීන් වහන්ස කුසලය බුදු දහමෙහි පමණක් ඉගැන්වෙන දෙයක්ද?

ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදු දහමේ හැර වෙනත් කිසිදු දහමක දැක්වෙන්නේ නෑ. මේ බව බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ පැමිණි සුභද්‍රට කළ දේශනාවෙන්ම පැහැදිලි වෙනවා. එනිසා කුසල් වැඩීම සිදු කළ හැක්කේ බෞද්ධයකුට පමණයි. නමුත් පුණ්‍ය ක්‍රියා නම් ආගම් ජාති භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කළ හැකියි.

ඉන්දු පෙරේරා

ඔබ සැමට තෙරුවන් සරණයි!

උපුටා ගැනීම: http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=45339:2015-04-29-09-54-11&catid=48:2012-04-02-08-50-52&Itemid=75

අදාළ
ආර්ය අෂ්ටාංගික මාර්ගය 1 — අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි [ශ්‍රවණ]

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් බුද්ධගයාවෙදී Gangodawila Soma Himi at Buddhagaya, India 1 [රූප]

ලොවට සද්ධර්මය පහළ වූ දිනය 1 [Articles — External >>]

ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! [රූප]

නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Before gaining the lasting peace of Nibbana please come again Venerable Sir! [රූප]